ගුවන රජ කරන ප්‍රහාරක ගුවන් යානා - 02

ටික දවසකට ඉස්සල්ලා මම මේ ලිපියෙ පළවෙනි කොටස (ගුවන රජ කරන ප්‍රහාරක ගුවන් යානා - 01)ඔයාලට දුන්නා.අද මම කියන්න යන්නේ F-22 Raptor නම් තවත් ප්‍රහාරක යානයක් ගැන.කලින් ලිපියෙ කිව්වා වගේම ගුවන් යානා ශ්‍රේණිකරනයේ පළමු සහ දෙවන ස්ථාන ගැන මත කීපයක් තියෙනවා.ඒ වුනත් බොහෝ ශ්‍රේණිකරනයන් වල මෙම යානාව ඇත්තේ පළමු ස්ථානයේ ය.එම නිසා F-22 Raptor වර්තමානයේ ලොව ප්‍රථම ස්ථානයේ පසුවන ප්‍රහාරක යානය යැයි පැවසුවහොත් එහි වැරැද්දක් නොමැත.මෙම යානාව ඇමෙරිකාවේ Lockheed Martin Aeronautics සමාගමේ තවත් විශිෂ්ඨ නිමැවුමකි..තවද  F-22 Raptor  යානය ඇමෙරිකාවෙන් පිට කිසිම රටකට ලබා දෙන්නේද නැත.එනම් මෙම යානය භාවිතා කරනුයේ ඇමෙරිකානු ගුවන් හමුදාව පමණි

  F-22 Raptor යානය හඳුන්වා දෙන ලද්දේ 2005 වසරේ අවසාන කාර්තුවේ වුවද මෙහි පළමු ගුවන් ගමන සිදු කරන ලද්දේ 1997 වසරේ දී ය.තවද  F-22 Raptor  එක් යානාවක වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක්(ශ්‍රී ලංකා රුපියල් බිලියන 19.9ක) ක් වේ.

{{{ලංකාවේ අප කොයි කවුරුත්හොඳින් දන්නා වූ කෆීර් යානාවක සම්පූර්ණ වටිනාකම වනුයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5(ශ්‍රී ලංකා රුපියල් මිලියන 602.9)කි.එනම් F-22 Raptor එක් යානයක වටිනාකම කෆීර් යානා 33 ක පමණ වටිනාකමට සමාන වේ. (1000millions=1 billion)}}}

  මේ වන විට F-22 Raptor යානා 195ක් නිශ්පාදනය කර ඇති අතර ඉන් යානා 8ක් යොදා ගන්නේ පරීක්ෂණ කටයුතු සඳහා ය.එනම් දැනට භාවිතයේ ඇත්තේ යානා 187 කි. F-22 Raptor  යානාව Air Superiority (ගුවනේ සිට දියත් කෙරෙන සියලුම ආකාරයේ ප්‍රහාරයන් කළ හැකි) සහ BVR (Beyond Visual Range) හෙවත් Stealth(රේඩාර් සංවේදක වලට හසු නොවී ඉලක්ක වෙත ළඟා විය හැකි),ATF(Advanced Tecnical Fighter)=සංකීර්ණ තාක්ෂණික ප්‍රහාරක යන කාණ්ඩයන් 3 ටම අයත් වේ.දැනට භාවිතයේ ඇති යානා වලින් රේඩාර් සංවේදනයන් වඩාත්ම හොඳින් මග හැරීමට හැකියාව ඇත්තේ  F-22 Raptor යානවට වීමද විශේෂත්වයකි.එමෙන්ම Air Superiority කාණ්ඩයේ යානා වලින් අංක 1 ස්ථානයේ පසුවන්නේද මෙම යානයයි.මෙම යානය Air Superiority කාණ්ඩයට අයත් හෙයින් Air to Air(ගුවනේ සිට ගුවනට),Air to Ground(ගුවනේ සිට ගොඩබිමට),Interceptor(හඹාගොස් පහර දීම),Interdictor(ගුවනෙන් නෙරපා හැරීම),JSF=Joint Strike  Fighting(ඒකාබද්ධ ප්‍රහාර හෙවත් කාණ්ඩ 2කට අයත් යානා 2ක් එක්ව දියත් කරන්නා වූ ප්‍රහාරයන්)ආදී වූ සියලුම ප්‍රහාර දියත් කිරීමේ හැකියාවක් F-22 Raptor යානයට ඇත.

Air Superiority කාණ්ඩයේ යානා අතුරින් බලවත්ම එන්ජින් ඇත්තේද මෙම යානයට යි." Pratt & Whitney F119-PW-100 turbofan" වර්ගයේ එන්ජින් යුගලයක් ඇති මෙම යානාව රාත්තල් 70,000 ක තෙරපුම් හැකියාවක්[70000 lb thrust(35000 lb thrust per each engine)] ඇත.මෙම යානයට අඩි 65000ක උපරිම උසකට ලඟාවිය හැකි වුවද එය අඩි 44000 කට සීමා කර ඇති අතර කිලෝග්‍රෑම් 29300ක බරක් රැගෙන ගුවන් ගත කරවීමට හැකිය.F-22 Raptor  යානයට උන්නතාංශයේදී(at altitude) පැයට කි.මී 2410 ක උපරිම වේගයකින් පියාසර කළ හැකි අතර අමතර ඉන්ධන ටැංකි 2ක් සහිතව කි.මී 2960ක් පියාසර කළ හැකිය.මෙම යානයේ බඳේ පිටතින් කිසිදු අවියක් සවි කර නැත එනම් සියලුම අවි මෙම යානයේ බඳේ ඇති විශේෂ කුටියක ගබඩා කර ඇත.අවි ගබඩා කිරීමේදී සහ ප්‍රහාර දියත් කිරීමේදී පමණක් මෙම කුටිය පිටතට විවර වේ.පිටතින් අවි නොමැති වීම නිසා වාතය මඟින් යානය කෙරේ ඇති කරන ඝර්ෂණය අවම වේ.මෙම යානයේ සුපිරි වේගයට ප්‍රධානම හේතුවද මෙයයි.

මිසයිල 12ක්,වට 480ක උණ්ඩ රැගත් මි.මී 20 (20mm) අධි බල දිගු දුර මැෂින් තුවක්කුවක්(Gatling gun වර්ගයේ),බෝම්බ 10ක් සහ අමතර ඉන්ධන ටැංකි 4 ක් යානයේ සම්පූර්ණ රැඳවුම් ප්‍රමාණය(payload) වේ.

 **(අමතර ඉන්ධන ටැංකි එක් කරන්නේ නම් යානයේ බඳට පිටතින් තටු වලට යටින් සවි කළ යුතුය.එවිට යානයේ වේගය සහ හැසිරවුම් හැකියාව[maneuverability] සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වේ)**21 සියවසේ බිහිවූ ප්‍රහාරක යානා අතුරින් ප්‍රථම ස්ථානයේ ඇති යානය ලෙස වර්ග කළ හැකි      F-22 Raptor යානය අනාගතයේ තවත් දශක කිහිපයක්ම ඇමෙරිකාවේ ගුවන් ආධිපත්‍ය පතුරවනු ඇත.

 

මම හිතනවා ඔයාලා මම අද දීපු ලිපියෙනුත් අලුතෙන් මොනවා හරි දෙයක් දැන ගන්න ඇති කියලා .ඔයාලගෙ අදහස් මට ගොඩාක් වටිනවා ඒ නිසා මගේ වෙබ් පිටුවට කැමති නම් Like 1ක් දාලා, ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදිහට දාල යන්නත් අමතක කරන්න එපා.       "ගුවන රජ කරන ප්‍රහාරක ගුවන් යානා - 01 ලිපියට නම් මම බලාපොරොත්තු වුනු තරම් ප්‍රතිචාරයක් තිබුනේ නෑ.ඒ වුනත් ලිපි පෙලක් විදිහට පටන් ගත්තු නිසා "ගුවන රජ කරන ප්‍රහාරක ගුවන් යානා" තවත් ලිපි කීපයක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා.ඔයාලා මේ ලිපි මාලාවට ඒ තරම් කැමැත්තක් නැත්නම් ඒකත් කමෙන්ට් 1ක් විදිහට කියන්න.එහෙනම් වෙනත් දවසක වෙනත්  ලිපියකින් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මෙතනින් නවතිනවා.

Posted By [NISH]....


ධනපතියන්ගේ කෙළි බඩුවක් වන Lamborghini මෝටර් රථ


ටික දවසකට ඉස්සල්ලා දාපු "ලොව වේගවත්ම සහ මිල අධිකම මෝටර් රථය ගැන ඔබ නොදත් තතු" කියන ලිපියට ගොඩක් අයගෙ උනන්දුවක් තිබුන හින්දම තවත් ඒ වගේ ලිපියක් දාන්න ඕනි කියලා පොඩි අදහසක් ආපු නිසාම වෙනත් මෝටර් රථ සමාගමක් ගැන ලිපියක් ඔයාලට දෙන්න හිතුවා.හැබැයි මේ ලිපියෙන් මම එක් මෝටර් රථයක් ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ නම් නෑ.ඒ වෙනුවට Lamborghini සමාගමේ සැඟවුනු තතු කිහිපයක් ගැනයි ඔවුන්ගේ එදා මෙදා තුර විශිෂ්ඨ නිෂ්පාදන කීපයක් ගැනයි මේ ලිපියෙන් ඔයාලට දැන ගන්න පුලුවන් .මේ ලිපියේ දී මම  Lamborghini  සමාගමේ සම්පූර්ණම ඉතිහාසය ගැන නම් කියන්නෙ නැහැ.ඒ වුනත් ඔවුන් මේ වෙනතෙක් නිපදවූ විශිෂ්ඨතම සහ ටිකක් අමුතු නිශ්පාදන ගැන විස්තරයක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා 
                                     Lamborghini කියන නම ඇහුනු ගමන්ම කට්ටියටම මතක් වෙන්නේ විදුලි වේගයෙන් ධාවනය කරන්න පුලුවන් මෝටර් රථ නිශ්පාදනය කරන සමාගමක්.මෙම සමාගමේ නිර්මාතෲ වනුයේ ඉතාලියේ Ferruccio Lamborghini ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව Ferruccio Lamborghini යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් ආරම්භ කළ අතර ඔහු එය ට්‍රැක්ටර් නිශ්පාදන කර්මාන්ත ශාලාවක් දක්වා වැඩිදියුනු කළේය.එනම්  Lamborghini  පළමු නිර්මාණය (1951 දී) මෝටර් රථයක් නොව ට්‍රැක්ටරයකි.(Lamborghini -22PS).


 මේ වන විටත්  Lamborghini  වෙළඳනාමයෙන් නිපදවෙන්නේ අධිවේගී මෝටර් රථ පමණක් නොවේ.තවමත් ඔවුන් ට්‍රැක්ටර් නිශ්පාදනයද සිදු කරනු ලබයි.   (Lamborghini R6-150)




*     Lamborghini සමාගමේ සළකුණ ලෙස පුෂ්ටිමත් ගවයෙකු ගේ රූපයක් යොදා තිබෙන අතර ඊට හේතුව නම් Ferruccio Lamborghini ගේ උපන් ලග්නය වන්නේ වෘෂභ(Taurus) වීම හේතු කොට ගෙනය.( Ferruccio Lamborghini හට ගව පට්ටියක් තිබුනා යයි ද (Ferruccio Lamborghini  ගේ දෙමව්පියන්ට ගව පට්ටියක් තිබූ බව නම් සැබෑවකි.) එහෙයින් සළකුණට ගවයෙකුගේ රූපයක් යොදා ගත්තා යැයි කතාවක් තිබුනද එහි කිසිදු සථ්‍යතාවක් නොමැත.Lamborghini මෝටර් රථ කිහිපයකට ගවයන්ගේ නම් යොදා ගෙන ඇති බව නම් සැබෑවකි ඒ වුවද ඒ යොදාගෙන ඇත්තේ ගොන් පොර වලින් අතීථයේ වාර්ථා තැබූ සහ වංශකතා වල සඳහන් වන ගොනුන්ගේ නම් ය. උදා-:Lamborghini Miura/Lamborghini Murciélago ලෙස නම් කර ඇති මෝටර් රථ 2 නම් කර ඇත්තේ ස්පාඤ්ඤයේ අතීතයේ ගොන් පොර වලින් වාර්ථා තැබූ Miura නම් ගොනා සහ murcielago යන ගව විශේෂය පදනම් කොට ගෙනය.murcielagoයනු දැනටත් ස්පාඤ්ඤයේ සිටින ගොන් පොර වලටම ගන්නා වූ හැඩි දැඩි හරකුන් විශේෂයකි.ඉතාලියේ නිෂ්පාදනය කරන මෝටර් රථ වලට ස්පාඤ්ඤයේ ගවයන්ගේ නම් ලබා දුන්නේ ඇයිද යන බව නම් ප්‍රහේලිකාවකි)

  *      Ferruccio Lamborghini  මෝටර් රථ නිෂ්පාදනයට යොමු වන්නේ 1963 වර්ශයේදී ය.1963 දී ඔහු  තම මෝටර් රථ නිශ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කරන අතර එම වසරේදීම තම පළමු මෝටර් රථය "Lamborghini 350-GTV" නිශ්පාදනය කල ද එම මෝටර් රථය වෙළඳපොල ට ඉදිරිපත් කළේ නැත.නමුත් 1964 වසරේදී Lamborghini 350-GTV මෝටර් රථයේම තවත් වැඩිදියුනු කරන ලද මෝටර් රථයක් ලෙසින් "Lamborghini 350GT" ලොවට හඳුන්වා දුන් අතර මෙම රථ 120ක් වෙළඳපොලට නිකුත් කරන ලදි.

  *     1966 වසරේදී මෙම සමාගම විසින් "Lamborghini Miura" යන නාමයෙන් තවත් විශිෂ්ඨ නිර්මාණයක් ලොවට හඳුන්වා දෙන ලදි.Lamborghini Miura මෝටර් රථය Lamborghini සමාගමෙන් නිපද වූ පළමු මධ්‍යගත එන්ජිමක් සහිත (Mid Engine) මෝටර් රථයයි.Lamborghini සමාගමේ සුපිරි කාර්(super car) සංකල්පය ආරම්භ වුනේ මෙම මෝටර් රථයත් සමග ය.මෙම මෝටර් රථයෙන් පසු Lamborghini සමාගම නිපදවු සෑම මෝටර් රථයක්ම  මධ්‍යගත එන්ජින් (Mid Engine) සහිත මෝටර් රථ වේ. *(1968 නිපද වූ Lamborghini Espada මෝටර් රථය හැර)* 

 

 * 1972 වසරේදී Lamborghini ට්‍රැක්ටර් නිෂ්පාදනය SAME නම් වූ වෙනත් සමාගමකට පවරන   ලදි.
 * 1973 වසරේදී Lamborghini සමාගම විසින් "Lamborghini Urraco" නමින් තවත් විශිෂ්ඨ මෝටර් රථයක් ලොවට හඳුන්වා දුනි.මෙම රථයටම ආවේණික බඳ විලාසිතාව නිසා අදටත් මෙම රථය ඉතා ප්‍රසිද්ධ ය.

* 1974 වසරේදී  Lamborghini සමාගම "Lamborghini Countach" නමින් තවත් අද්විතීය මෝටර් රථයක් එලි දැක් වූ අතර මෙම Lamborghini Countach නම් වූ අසමසම මෝටර් රථය Lamborghini Murciélago සහ Lamborghini Gallardo මෝටර් රථ 2 එලි දක්වන තෙක් Lamborghini සමාගම විසින් නිපද වූ මෝටර් රථ වලින් ප්‍රසිද්ධම වූ මෝටර් රථය වූ අතර සුපිරි කාර් (Super Car) සංකල්පයේ පෙරලියක් ඇති කල මෙම මෝටර් රථය Lamborghini සමාගම තැබූ මගසළකුණකි.

* 1973 ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි ලෙස ආර්ථික පරිහාණියකටලක් වූ Lamborghini සමාගමේ හිමිකාරත්වය 1987 වසරේදී ඇමෙරිකාවේ "Chrysler" සමාගමට හිමිවිය.



* අයිතිකාරත්වය වෙනස් වනවාත් සමගම Lamborghini සම්ප්‍රදායට පටහැනි ආකාරයක මෝටර් රථයක් මෙම සමාගමෙන් එලි දක්වන ලදි. එනම් Lamborghini  LM-002 නම් වූ    Pick-up කාණ්ඩයේ මෝටර් රියයි.මෙම  Lamborghini   Pick-up රථය "Rambo Lambo" නමින්ද හැඳින්වේ.


*1990 වසරේදී  Lamborghini  සමාගම තවත් පෙරළිකාර මෝටර් රථයක් ලොවට හඳුන්වා දුනි.එනම් "Lamborghini Diablo" මෝටර් රථයයි.මෙම මෝටර් රථය 1990 වසරේ ලොව වේගවත්ම මෝටර් රථයද වේ.

*1991 වසරේ පටන් පිට පිට සිදුවූ අලාභ හේතුවෙන් 1994 වසරේදී Lamborghini සමාගම Chrysler සමාගම විසින්  "MegaTech" නම් වූ ඉන්දුනීසියානු සමාගමට විකුණන ළදි.
*1993 වසරේ Lamborghini සමාගමේ නිර්මාතෲ වූ Ferruccio Lamborghini මහතා ගේ අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ අභාවයෙන් පසුව ඔහුගේ සමාගම ඔහුට ගෞරවයක් වශයෙන් ඔහුගේ නාමයෙන් නම් කරන ලදි. "Automobili Lamborghini"
*1998 වසරේදී ආර්ථික අපහසුතා කරණ කොට ගෙන Lamborghini සමාගම නැවතත්  MegaTech සමාගම විසින් ජර්මනියේ "AUDI" සමාගමට විකුණන ලදි.
("AUDI" සමාගමේ හිමිකාරත්වය දරන්නේ ජර්මනියේ "Volkswagen" සමාගමයි.එනම් AUDI සමාගමVolkswagen සමාගමේ ම කොටසකි ).තවමත් Lamborghini සමාගමේ හිමිකාරත්වය අයත් වන්නේ AUDI සමාගමට ය.


*අයිතිකාරත්වය AUDI සමාගමට හිමි වීමෙන් පසුව 2001 වර්ෂයේදී Lamborghini සමාගම විසින් "Lamborghini Murciélago" නමින් පෙරළිකාර මෝටර් රථයක් ලොවට හඳුන්වා දෙන ලදි.Lamborghini Murciélago මෝටර් රථය ගැන නම් බොහෝ දෙනෙක් අසා ඇතුවාට සැකයක් නැත.Lamborghini Reventón සහ Lamborghini Aventador රථ ලොවට එලි දක්වන තුරාවට වසර 10ක් එක දිගට Lamborghini සමාගමේ කීර්ති නාමය රැක ගෙන සිටියේ මෙම මෝටර් රථයයි.

                 * Lamborghini සමාගමෙන් නිපදවන ලද වේගවත්ම මෝටර් රථයද Lamborghini     Murciélago  වර්ගයේම තවදුරටත් වැඩි දියුනු කරන ලද  "LamborghiniMurciélago R-GT" මෝටර් රථයයි.නමුත් මෙම රථය මහා මාර්ගයේ ධාවනයට අවසර නැත.එනම් මෙම රථය ධාවනය කිරීමට අවසර ඇත්තේ ධාවන පථයක පමණි.(370Km/h)

*2003 වර්ෂයේදී Lamborghini සමාගම විසින් තවත් පෙරළිකාර මෝටර් රථයක්              "Lamborghini Gallardo" නමින් ලොවට හඳුන්වා දෙන ලදි.Lamborghini සමාගමේ අනෙක් මෝටර් රථ වලට සාපේක්ෂව මෙම මෝටර් රිය කුඩා හෙයින් සහ එන්ජින් ධාරිතාවයෙන් අඩු නිසා Lamborghini Gallardo රථය "Baby Lambo" යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වේ.සාපේක්ෂ වශයෙන් කුඩා මෝටර් රථයක් වුවද Lamborghini සමාගමේ මෝටර් රථ වලින් වඩාත්ම ප්‍රසිද්ධ මෝටර් රථය වන්නේද Lamborghini Gallardo රථයයි.මෙම මෝටර් රථය ලංකාවේ බොහෝ දෙනෙක් මේ වනවිටම හොඳින් දන්නවාට සැකයක් නොමැත.මක් නිසාද යත් "දිලන්ත මාලගමුව" මහතා විසින් මෑතකදී මෙම වර්ගයේ මෝටර් රියක් ලංකාවට ආනයනය කිරීම බොහෝ දෙනෙක් දන්නා කරුණකි
                   * Lamborghini සමාගමෙන් මෙතෙක් නිපදවූ සෑම මෝටර් රථයකටම V-12 වර්ගයේ සිලිණ්ඩර් 12 එන්ජිමක් තිබුනද Lamborghini Gallardo රථයේ ඇත්තේ V-10 වර්ගයේ සිලිණ්ඩර් 10 එන්ජිමකි. (Lamborghini Urraco මෝටර් රථය හැර)
                   * "Audi" සමාගමෙන් නිපදවන "Audi R-8"  V-10 එන්ජින් ඇති මාදිලිය Lamborghini Gallardo රථයම වේ.වෙනස් කමක් ඇත්තේ බඳ පමණි.

                     * 2010 වසරේදී Lamborghini Gallardo රථයේම තවත් වැඩි දියුණු කරන ලද මාදිලියක් "Lamborghini gallardo superleggera" ලෙස ලොවට ඉදිරිපත් කළ අතර මේ වන විට අනෙකුත් සියලුම Lamborghini  රථ වලට වඩා මෙමLamborghini gallardo superleggera  මාදිලියට ඉල්ලුමක් ඇත.

* Lamborghini සමාගම වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් අලේවි කරන ලද්දේ 2007 වසරේ වන අතර ප්‍රමාණයෙන් නම් මෝටර් රථ 2850ක් ඔවුන් වෙළඳපොලට ඉදිරිපත් කර ඇත.

*2008 වසරේදී Lamborghini සමාගම විසින් ඉතාමත් පෙරළිකාර මෝටර් රථයක් ලොවට ඉදිරිපත් කරන ලදි.එනම් "Lamborghini Reventón" මෝටර් රථයයි. F-22 Raptor නම් ඇමෙරිකානු ප්‍රහාරක යානයේ ආකෘතිය පාදක කොට ගෙන නිපදවූ මෙම මෝටර් රථය බැලූ බැල්මට සිහිවන්නේ ප්‍රහාරක ගුවන් යානයකි.මෙම රියේ සම්පූර්ණ බඳ ම නිමකර ඇත්තේ ඉතාමත්ම ශක්තිමත් සහ ඉතාම සැහැල්ලු කාබන් තන්තු (Carbon Fiber) වලිනි.මුදල් තිබූ පමණින්ම මෙම මෝටර් රථයක් මිලදී ගත නොහැක.මෙම සුවිශේෂ මෝටර් රථය මිලදී ගැනීමට නම් කුමන හෝ අංශයකින් ලොවම පිලිගත් අයෙකු වීමද අත්‍යාවශ්‍ය කරුණකි.බොහෝ දෙනෙක් දන්නා වූ Tanner Foust නම් වූ රැළි(Rally) ධාවන ශූරයා මෙම Lamborghini Reventón රථයක සාඩම්බර හිමිකරුවෙකි.Lamborghini Reventón වර්ගයේ රථයක් දැන් නම් මිලදී ගැනීම ඕනෑම අයෙකුට දැන් නම් ඉතාමත්ම අපහසු කරුණකි.මක් නිසාද යත් මෙම මෝටර් රථ නිපදවා ඇත්තේ 21ක් පමණක් වන අතර එයින් එක් රියක් Lamborghini කෞතුකාගාරයට ය.ඉතිරි මෝටර් රථ 20ම අලෙවි වී අවසන් අතර මෙම මෝටර් රථය පිළිබඳව Lamborghini සමාගම විසින් ලොවට හෙලි කළ විගසම මෝටර් රථ 20ටම ඇණවුම් ලැබී අවසානය.මෙම රථය Lamborghini සමාගමේ ඉතාමත්ම සීමිත නිශ්පාදනයක් වන අතර මෙය නිපදවා ඇත්තේ Lamborghini සමාගමේ ප්‍රෞඩත්වය ලොවට විදහා දැක්වීම පිණිසය.Lamborghini සමාගමෙන් මේ වෙනතෙක් නිපදවා ඇති මෝටර් රථ වලින් වැඩිම මිලකට අලෙවි වූ මෝටර් රථය වන්නේද මෙයයි.මෙහි වටිනාකම පටන් ගන්නේ ඇමෙරිකානු ඩොලර්  1,600,000 කටය.
{{ තීරු බදු රහිතව=ශ්‍රී ලංකා රුපියල් මිලියන 214.075   /තීරු බදු සහිතව=ශ්‍රී ලංකා රුපියල් මිලියන 1284.45,,,,,, [අධි එන්ජින් ධාරිථා,අධි වේග මෝටර් රථ බදු ප්‍රතිශතය=500% ]
ලංකාවෙ බදු ගැන කියන්න දෙයක් නෑ නෙ ඉතිං... :පී  }}


 *2011 වසරේදී Lamborghini සමාගම විසින් තවත් පෙරළිකාර නිශ්පාදනයක් වන          "Lamborghini Aventador" මෝටර් රථය ලොවට හඳුන්වා දෙනු ලැබුවා.මෙම Lamborghini Aventador නම් මෝටර් රථයද හැඩය යම් තාක් දුරට Lamborghini Reventón රථයට සමානකම් ඇත.මෙම Lamborghini Aventador නම් රථය  Lamborghini සමාගමෙන් නිපදවන ලද වැඩිම හැසිරවීමේ හැකියාවක් ඇති(Maneuverable) මෝටර් රථයයි.හැසිරවීමේ හැකියාව වැඩි වුවා පමණක් නොව මෙම මෝටර් රථය වේගයෙන්ද ඉතාමත් ඉහල(350Km/h) මෝටර් රථයකි.

මෙම Lamborghini Aventador නම් මෝටර් රිය Lamborghini සමාගමෙන් නිපදවූ මෝටර් රථ අතරින් දෙවෙනියට වේගවත්ම මෝටර් රථයයි.එසේ වුවද Lamborghini සමාගමේ නිපදවූ මෝටර් රථ  අතරින් මහා මාර්ගයේ ධාවනයට අවසර ඇති මෝටර් රථ අතුරින් වේගවත්ම රිය වන්නේ Lamborghini Aventador මෝටර් රථය යි.


 පහත රූපයෙන් දැක්වෙන්නේ ඉතාලියේ Sant'Agata Bolognese, Bologna, Italy ලිපිනයේ පිහිටි Lamborghini කර්මාන්ත ශාලාවයි.


ඔයාලට තවත් විස්තර දැන ගන්න ඕනි නම් Lamborghini සමාගමේ නිළ වෙබ් අඩවියට පහත link එකෙන් ගිහින් තොරතුරු දැන ගන්න පුලුවන්

        http://www.lamborghini.com/en/home/


මම හිතනවා ඔයාල මේ ලිපියෙනුත් දන්නා දෙයක් ගැන නොදන්නා යමක් ඉගෙන ගත්තා කියලා.POST එක කියවලා නින්ද ගියේ නෑ කියලත්  හිතනවා.ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා.මගේ වෙබ් පිටුවට කැමති නම් Like 1ක් දාලා, ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදිහට දාල යන්නත් අමතක කරන්න එපා....එහෙනම් වෙනත් ලිපියකින් නැවත හමු වෙමු.

Posted By [NISH]....


පෞද්ගලික ගුවන් යානා හිමි සුපිරි හොළිවුඩ් තරු

අපි චිත්‍රපටි බලන බලන තරම නිසා හොළිවුඩ් පුරය ගැනවත් හොළිවුඩ් තරු ගැනවත් වෙනම හැඳින්වීමක් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මම හිතනවා.ඒ නිසා එයාලා අපිට චිත්‍රපටි පෙන්නලා කොයි තරම් සාක්කු පුරවගෙන තියෙනවද කියලා පහතින් තියෙන පින්තූර ටික දැක්කාම ඔයාලටම හිතා ගන්න පුලුවන් වෙයි. 

Tom Cruise

මෙයා ගැන වෙනම කියන්න ඕනි නෑ නේ."Top Gun,Knight & Day,Mission Impossible" වගේ ක්‍රියාදාම චිත්‍රපටි වලින් අප හමුවට ආ මේ සුපිරි නලුවා මේ වන විට ගුවන් යානා 4ක හිමිකරුවෙකි.මෙම යානා අතර Gulfstream - G-4 ජෙට් යානයක් Aviat  Pitts S-2B යානයක්  Beachcraft  F-90 යානයක් සහ  2 වන ලෝක යුද්ධයේදී ඇමෙරිකාව විසින් භාවිතා කරන ලද සුපිරිතම යානය සහ 2 වන ලෝක යුද්ධයේ ප්‍රසිද්ධම ප්‍රහාරක යානය වූ P-51 mustang වර්ගයේ යානාවක් අයත් වේ.එම යානා අතරින් ඔහුගේ වඩාත්ම සිත් ගත් ගුවන් යානාව P-51 mustang යානාව වන අතර එය "kiss me kate" ලෙස නම් කර ඇත.එමෙන්ම Tom Cruise හොළිවුඩයේ විශාලතම ගුවන් යානා සංචිතයේ හිමිකරුවන් දෙදෙනා ගෙන් එක් අයෙකුද වේ.


Angelina Jolie

මෙයා ගැනත් ඔක්කෝමලා දන්නවනේ.Tomb Raider, Mr & Mrs Smith,Salt,The tourist වගේ අගනාම ඝණයේ චිත්‍රපටි වලින් හොළිවුඩ් සිනමාවේ පෙරළියක් කළ සුපිරිම නිළියක් වන Angelina jolie ද Cessna - 208-B වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක හිමිකාරිණියක් වේ.

Arnold Schwarzenegger

හොළිවුඩ් සිනමාවේ සිටි අයෝමය පුරුෂයන් දෙදෙනාගෙන් විශාලතම සිරුරට හිමිකම් කී arnold schwarzenegger ගැන නොදත් අයෙක් නැති තරම්. Predator,Commando,Terminator වන් ක්‍රියාදාම වලින් සපිරුනු චිත්‍රපට වලින් හොළිවුඩය සැරසූ මෙම අයෝමය පුරුෂයා මේ වන විට ඇමෙරිකාවේ කැළිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරයද දරනු ලබන අතර ඔහු සතුව Gulfstream G-5(Gulfstream-V) වර්ගයේ ජෙට් යානාවක් ඇත.

Harrison Ford

දශක කිහිපයක්ම තම සුවිශේෂී කළා කෞෂල්‍යයෙන් හොළිවුඩය විචිත්‍රවත් කල Harrison Ford නම් වූ මෙම අග්‍රගණ්‍ය කළාකරුවා Star Wars,Air Force One,Indiana Jones වැනි අගනා චිත්‍රපටි වලින් බටහිර සිනමාවේ මගසලකුණු සඳහන් කිරීමට තරම් දක්ෂයෙක් වූ අතර ඔහු සතුව Cessna 525 B-CJ3 වර්ගයේ  ජෙට් යානාවක් සහ  Aviat A1-B වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක් ඇත.

Jim Carrey

හාස්‍යජනක චිත්‍රපටි(Comedy) වලින් හොළිවුඩ් පුරය සැරසූ මෙම රංගන ශිල්පියා ගැන නොදත් අයෙකු නැති තරම්ය.පෞද්ගලිකව මාගේ ප්‍රියතම නළුවෙක්ද වන මොහු The Mask,Yes Man,Bruce Almighty,Fun with Dick & Jane වැනි හාස්‍යජනක චිත්‍රපට වලින් රසිකයින් අමන්දානන්දයට පත් කරවන ලදි. Jim Carrey නම් මෙම අසහාය රංගණ ශිල්පියා Gulfstream  G-4 වර්ගයේ ජෙට් යානාවක සාඩම්බර හිමිකරුවෙක්ද වේ.

Mel Gibson

දශක කිහිපයකට පෙරාතුව හොළිවුඩයට එක්වූ මෙම රංගණ ශිල්පියාද හොළිවුඩ් සිනමාවේ රිදී රේඛාවකි.Braveheart,We were Soldiers,Payback,Signs වැනි අගනා චිත්‍රපට වලින් රසික හදවත් පිනවූ මොහු Gulfstream-V(Gulfstream G-5)වර්ගයේ ජෙට් යානාවක සාඩම්බර හිමිකරුවෙකි.

John Travolta


80-90 දශකයේ බිහිවූ සාර්ථකම සහ දක්ෂතම නළුවෙක් වූ John Travolta සුදු චරිත සහ කළු චරිත දෙකොට්ඨාශයම රඟ දැක්වීමට උපන් හපනෙකි.Broken Arrow,From Paris with Love,Face Off,The Taking of Pelham 123,Sword Fish වැනි චිත්‍රපට වලින් තම අසමසම රංග කුසලතාවය එළි දැක්වූ මොහු හොළිවුඩ‍යේ සිටින අනෙක් විශාලතම ගුවන් යානා සංචිතයේ හිමිකරුවා ද වේ. Tom Cruise මෙන්ම John Travolta ද ගුවන් යානා 4 ක අයිතිකාරත්වය දරයි. Boeing 707 -138-B වර්ගයේ විශාල ප්‍රමානයේ ජෙට් යානයක්ද,   Grumman - G-1159 වර්ගයේ මධ්‍යම ප්‍රමාණයේ ජෙට් යානයක්ද, Learjet- 24 වර්ගයේ සැහැල්ලු ජෙට් යානයක්ද, Beechcraft  V35-B වර්ගයේ සහැල්ලු ගුවන් යානයක්ද මොහුගේ ගුවන් යානා සංචිතයට අයත් වේ.

Nicole Kidman

හොළිවුඩයේ තවත් සුපිරිතම රංගන ශිල්පිණියක් වන මැය  Days of Thunder,Batman Forever,The Others,The Interpreter,Cold Mountain,Australia,Just Go with It වැනි සුපිරි චිත්‍රපට වලින් තම රංගන කෞශල්‍ය ලොවට පෙන්වූ සුපිරි තාරකාවකි.එමෙන්ම මැය Gulfstream G-4 වර්ගයේ ජෙට් යානාවක සාඩම්බර හිමිකාරිණියකි.


මම හිතනවා ඔයාල මේ ලිපියෙන් ඔයාලා හොඳින් දන්නා  හොළිවුඩ් තරු ගැන නොදන්නා ඕපදූප ටිකක් දැනගත්තා කියලා.ඔයාලගෙ අදහස් මට ගොඩාක් වටිනවා ඒ නිසා මගේ වෙබ් පිටුවට කැමති නම් Like 1ක් දාලා, ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදිහට දාල යන්නත් අමතක කරන්න එපා .එහෙනම් වෙනත් දවසක වෙනත්  ලිපියකින් නැවත හමු වෙමු.

Posted By [NISH]....